රුහුණු කතරගම

කිරි වෙහෙර

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාව වෙත තෙවන වර වැඩි ගමනේ දී කතරගම කිරිවෙහෙර ඉදිකර ඇති ස්ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිටි නිසා කිරි වෙහෙර ද සොළොස්මස්ථානයන්ගෙන් එකක් වශයෙන් නම් කර තිබේ. බුදුන් වහන්සේ මෙහි වැඩම කරන කල්හි දී එහි සිටියේ ‘මහාඝෝෂ’ නම් දෙව් රජකු බවද සඳහන් වෙයි. බුදුන් වහන්සේ සපැමිණ ධර්මය දේශනා කිරීමෙන් පසුව එහි වැසියන් බෞද්ධාගමට අනුගත වූ බවත් ‘කිහිරි වනයේ’ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ පසු කලෙක කිහිරි නොහොත් ‘කිරි වෙහෙර’ ඉදි කළ බවත් කියැවෙයි.

බුදුරාජාණන් වහන්සේ මහාඝෝෂ දෙවියන්ට පරිත්‍යාග කළ කේෂ ධාතූන් වහන්සේලා හා විඪූඩභ කුමරු විසින් මහඝෝෂ වෙත පරිත්‍යාග කළ සිද්ධාර්ථ බෝධිසත්වයන් හිස කෙස් සිඳ දැමූ මඟුල් කඩුව ද මෙම චෛත්‍ය ධාතූ ගර්භයෙහි නිදන් කොට ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

දැනට ලැබී ඇති පුරාවිද්‍යාත්මයක සාක්ෂි වලට අනුව කිරි වෙහෙර ඉදි කරවන ලද්දේ ක්‍රි. පූ. 1 වැනි සියවසෙහි රුහුණේ රජ කළ මහානාග නම් රජු විසිනි. පස්වන ශතවර්ෂයට අයත් ශිලා ලේඛනයක කිරිවෙහෙර හඳුන්වා ඇත්තේ මංගල මහා චෛත්‍ය ලෙස ය.

මෑත ඉතිහාසයයේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් මෙම විහාරය වේහැල්ලේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සන්නසකින් පවරනු ලදුව වර්තමානය දක්වා එම ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙම උතුම් පුද බිම ආරක්ෂා කරනු ලබයි.

කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී තිබුණ කිරිවෙහෙර නැවත ප්‍රතිසංස්කරණය වන්නේ 1961 වසරේදී ය. දැනට අඩි 96 ක් පමණ උස චෛත්‍යයේ බිම් මට්ටමේ වට ප්‍රමාණය අඩි 280 ක් පමණ වෙයි.

වර්තමානයේ මෙම විහාරගණයෙහි ආධිපත්‍ය උසුලනු බලන්නේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි.